Breaking

Wednesday, May 17, 2017

අම්මාගේ ෆෝන් එකට “හාද“ කියා ආ SMS එකක් 15 හැවිරිදි සිසුවියකගේ ජීවිතය ගෙනයයි


මව අවවාද කිරීම හේතුවෙන් කලකිරුණු කොළඹ විදුහලක සිසුවියක නිවසේ කාමරයක්‌ තුළදී ගෙලවැලලාගෙන මිය යැමේ සිද්ධියක්‌ කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයකදී අනාවරණය වුණා. මෙලෙස දිවිනසාගෙන ඇත්තේ කොළඹ 05, විජය කුමාරතුංග මාවතේ පදිංචිව සිටි දොන් සීමන් පටබැඳි සචින්තනා නමැති 15 හැවිරිදි සිසුවියකි.
මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් උසාවියේ හදිසි මරණ පරීක්‍ෂක පාරින්ද කොටුගොඩ මහතා හමුවේ පැවැති අතර, මියගිය දැරියගේ මව්වන තනුජා තුෂාරී කාරියවසම් (47) මෙසේ සාක්ෂි දුන්නා.
“මියගොස්‌ සිටින්නේ මගේ දුව. ඇය කොළඹ විදුහලක 10 වැනි වසරේ ඉගෙනුම ලැබුවා. ඇයට වෙනත් අසනීපයක්‌ තිබුණේ නැහැ. ඇගේ පසුපස පිරිමි ළමයකු එන බව මට දැනගන්න ලැබුණා. මම මේ නිසා ඇයට අවවාද කළා. දවසක්‌ මගේ ෆෝන් එකටත් කෝල් එකක් ආවා. පසුව මා ඇයගේ ක්‌ලාස්‌ එක ළඟටත් නිතර ගියා. පසුගිය දිනක මගේ ෆෝන් එකට එස්‌. එම්. එස්‌. එකක්‌ ආවා. එහි තිබුණේ "හාද" කියලයි. මට සද්දයක්‌ ආ නිසයි බැලුවේ. ඊට පෙර එස්‌. එම්. එස්‌. වලට ඇය පිළිතුරු යවා ඒවා ඩිලීට්‌ කරන්න ඇති කියලා හිතනවා. මම ඇයට අවවාද කර කීවා මීට පස්‌සේ මගේ ෆෝන් එක ගන්න එපා කියලා. ඊට පහුවදා දවස පුරාම ඇය කාමරයට වෙලා හිටියා. ඇය කතා කළේම නැහැ. මම හවස ආයේ ඇයගෙන් ඇහුවා කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. ඒත් ඇය කතා කළේ නැහැ. මට එයාගේ හැසිරීමට කේන්ති ගියා. මා පාරවල් දෙකක්‌ ඇයට ගැහුවා. ඊට පසුව ඇය කාමරයේ දොර වසා ගත්තා.
මීට පෙර ඇය තම අත පිහියකින් සූරාගෙන තිබුණා. මම එවෙලෙත් ඇහුවාම කිව්වා කේන්තියට මම කපාගත්තා කියලා. කාමරයේ දොර වහගත්තාට පසු මමයි, අනෙක්‌ දුවයි දෙන්නම උත්සාහ කළා දොර ඇරගන්න. ඒත් ඇය දොර ඇරියේ නැහැ. ලොකු දුව කණ්‌නාඩියක්‌ දොර අස්‌සෙන් දාලා බැලුවා. ඇගේ කකුල් දෙක පමණයි දුටුවේ. අපිට බය හිතුණා. පසුව උඩ ඉන්න ගේ අයිති අයියලාට අපි කතා කළා.
අනතුරුව ඔහු පැමිණ කාමරයේ දොර කඩා බැලුවා. එහිදී මම දැක්‌කා දුව කාමරයේ එල්ලී සිටිනවා. පසුව ගෙවල් ළඟ අයයි මමයි එකතු වෙලා දුව කළුබෝවිල රෝහලට රැගෙන ආවා. රෝහලේදී දැනගත්තා දුව මියගොස්‌ ඇති බව. ඇය විසින්ම මේ දේ කරගත් බව මට විශ්වාසයි."
කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්‌. රවීන්ද්‍රන් මහතා විසින් මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ අතර ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක කොටුගොඩ මහතා මෙම මරණය සිත් තැවුලක්‌ හේතුවෙන් දිවි නසා ගැනීමක්‌ බව තීරණය කරනු ලැබුවා.


No comments:

Post a Comment